පැවැත්වෙන ජනාධිපතිවරණය කොතෙක් දුරට සදාචාරාත්මක ද යන්න ප‍්‍රශ්නයක්. ඊට පළමු හේතුව වන්නේ නියමිත කාලය පිරෙන්නට පෙර තමන් සිතූ වෙලාවක මැතිවරණය පැවැත්වීමට ජනාධිපති ගත් තීන්දුවයි. දෙවනුව තමන් ජනාධිපති ධුරයේ රැුඳීසිටිමින් හා සියලූ බලතල තමන්ගේ වාසියට යොදවාගනිමින් මැතිවරණය පැවැත්වීමයි.
තවද, වඳුරඹ දී සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාව, වරදකරුවන් පොලීසියෙන් පැහැරගෙන යාම, එප්පාවලදී හා මාතරදී වීදියේ විරෝධය නැමැති කණ්ඩායමට හා කුරුණෑගල කුඹුක්ගැටේදී අලූත් පරපුරේ තරුණ කලාකරුවන් පිරිසකට පහරදීම, විපක්ෂයේ වේදිකාවට වෙඩි තැබීම, නීති විරෝධී ලෙස ප‍්‍රචාරක කටයුතු සිදුකිරීම, රාජ්‍ය සේවකයන් මැතිවරණ කටයුතු සදහා යොදාගැනීම, තෑගි බෝග දීම, මැතිවරණය සඳහා රාජ්‍ය දේපළ යොදා ගැනීම ආදී නොයෙකුත් සිද්ධීන් මගින් ප‍්‍රකාශ වන එක් දෙයක් වන්නේ ජනාධිපතිවරණය පැවැත්වෙන කාලයේදීවත් සදාචාරාත්මකවීමට හා සාධාරණය ඉටුකිරීමට ජනාධිපති ඇතුළු වර්තමාන ආණ්ඩුවට වුවමනාවක් නැති බවයි.
පසුගිය කාලය තුළදී ආණ්ඩු පක්ෂය විසින් සිදුකර ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා පවත්වාගෙන ගිය දූෂිත පාලන ක‍්‍රමයට එරෙහිව ආණ්ඩු පක්ෂය ඇතුළෙන් ද විරුද්ධ පක්ෂයෙන් ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන්, නීතිඥයන්ගෙන් හා වෙනත් වෘත්තිකයන්ගෙන් ද සාමාන්‍ය මධ්‍යස්ථ පුරවැසියන්ගෙන් ද අතිප‍්‍රබල විරෝධයක් පැන නැගී ඇති බව මෙම ජනාධිපතිවරණ සමයේදී පැහැදිලිව දකින්නට පිළිවන්.